Medical Research Institute - Colombo

Dinamina - Aarogya article - 23rd February 2011

වෛද්‍ය පර්යේෂණ සඳහාම වෙන්වුණු බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය



වෛද්‍ය පර්යේෂණ යනු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැදගත්ම අංශයකි. රෝග, රෝග නිදානය, ප්‍රතිකාර මෙන්ම ප්‍රතිකාර වලින් පසු රෝගියාගේ ජීවන රටාව පිළිබඳව ද කරුණු සලකා බලන්නේ වෛද්‍ය පර්යේෂණවලින් ලබාගන්නා නිගමනයන් තුළිණි.
ශ්‍රී ලංකාවේ පිහිටි විශාලතම මෙන්ම ප්‍රධානම වෛද්‍ය පර්යේෂණායතනය පිහිටියේ බොරැල්ලේය. මේ වෛද්‍ය පර්යේෂණායතනය(ර්ඥඤඪජචත අඥඵඥඥචපජඩ ධ්දඵබඪබභබඥ) පිළිබඳව අදහස් දැක්වූ එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක මහතා -
අපේ රටේ වෛද්‍ය ක්ෂේත්‍රයේ දියුණුවට මේ ආයතනය විශාල කාර්යභාරයක් නිහඬවම කරනවා.
සමහර රෝග පිළිබඳ විනිශ්චයන් ලබාදෙන්නේ මේ ආයතනයෙන් පමණයි. වෛරස් රසායනාගාරයක් ඇත්තේ මේ ආයතනයට පමණයි. ජලභීතිකා, ඩෙංගු, පෝලියෝ, ඇතුළු වෛරස් රෝග සඳහා පර්යේෂණ කෙරෙන්නේ මේ ආයතනයේ පමණයි.
ඉන්ෆ්ලුවෙන්සා වෛරස පරීක්ෂණය කළේ මේ ආයතනයෙන් පමණයි. මේ වසංගතය මෙරටට පැමිණෙන බව මුලින්ම හඳුනාගත්තේ වෛද්‍ය පර්යේෂණායතනයෙන්. රටපුරා ප්‍රධාන රෝහල් 20ක් එකතුවෙලා දිගින් දිගටම රෝග පිළිබඳව විවිධ පර්යේෂණ කටයුතු කෙරෙනවා. රෝහල්වල බාහිර අංශ රෝගීන්ගෙන් අවශ්‍ය සාම්පල් ලබාගෙන විවිධ රෝග සඳහා පර්යේෂණ කෙරෙනවා.
රෝග මතුවීමට ඇති ඉඩකඩ පිළිබඳව නිරන්තරව පරීක්ෂණ කටයුතු කිරීමත් මේ ඒකකයේ කාර්යභාරයක් වෙනවා.
රෝගය හා රෝගියාට අමතරව රෝගය පතුරුවන වාහකයන් පිළිබඳවත් පරීක්ෂණ කටයුතු කරනවා. ඩෙංගු වැනි රෝගී තත්ත්ව වලදී ඩෙංගු බෝකරන මදුරුවන්, කීටයන් පිළිබඳවත් මේ ආයතනයේ පරීක්ෂණ කරනවා.
වර්ණදේහ, ප්‍රතිදේහ ජනක, රක්තවේදය ගැනත් විවිධ පර්යේෂණ කෙරෙනවා.
රෝග, රෝග නිශ්චය හා ප්‍රතිකාර සම්බන්ධ පරීක්ෂණ වලට අමතරව රෝහල්වල හා පෞද්ගලික අංශයේ පරීක්ෂණාගාරවල තත්ත්ව පාලනය කිරීමත් කෙරෙනවා. පරීක්ෂණාගාරවල ප්‍රමිතිය පවත්වාගෙනයාම සඳහා සහතික නිකුත් කිරීමත් ඒ පිළිබඳව සොයා බැලීමත් අපි කරනවා.
ජීව රසායන අංශයේ ප්‍රධානම කාර්යයක් වන්නේ වෛද්‍ය පර්යේෂණ ආයතනවල තත්ත්ව පාලනය නිවැරදිව ඇත්දැයි සොයා බැලීමයි. පරීක්ෂණ කටයුතුවලට යොදාගන්නා යන්ත්‍ර, කාලයක් ගතවත්දී නිවැරදි තොරතුරු ලබාදෙන්නේ නැහැ. ඒ නිසා එම යන්ත්‍රවල නිවැරදි තත්ත්ව ඇතිදැයි සොයාබැලිය යුතුයි.
ජලභීතිකා රෝග පරීක්ෂණය සඳහා මේ ආයතනය ප්‍රසිද්ධියක් උසුලනවා. ලංකාවේ කොහේ හිටියත් ජලභීතිකා පරීක්ෂණ කටයුතු සඳහා මේ ආයතනයට යොමුවිය යුතුයි. මේ රෝගී තත්ත්වය පිළිබඳව දැනගැනීම සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක අංශයක් මේ ආයතනයේ ස්ථාපිතයි.
පරපෝෂිත රෝග පිළිබඳව අද බොහෝ දෙනෙක් දන්නේ නැහැ. විශේෂයෙන් පූසන්ගෙන් හැදෙන ටොක්සො ප්ලැස්මෝසිස්(Toxo Plasmosis) රෝගය වැනි රෝගී තත්ත්ව ගැන සමාජයේ දැනුම ඉතාම අඩුයි. මේ රෝගී තත්ත්වය නිසා කාන්තාවන්ගේ මදසරුබව ඇතිවීම භයානක තත්ත්වයක්. මේ සම්බන්ධ විශේෂ පරීක්ෂණ මේ ආයතනයෙන් කෙරෙනවා.
මේ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට සොයාගෙන තිබෙනවා මේ රෝගී කාන්තාවන්ගේ ලිංගික කටයුතු සියල්ල හොඳින් සිදුවූවත් කාන්තාවන්ගේ ප්‍රජනන පද්ධතියට ඇතිවන හානිය නිසා දරුඵල අහිමිවන බව. පූසන්ගේ මළද්‍රව්‍ය මේ රෝගී තත්ත්වයට හේතුවන බවත් පරීක්ෂණවලින් තහවුරු කරගෙන තිබෙනවා. ඒ වගේම මේ රෝගී තත්ත්වය ඇතිකරන පරපෝෂිතයා කාලයක් ගතවද්දී මොළයට පවා යා හැකියි. එසේ වුවහොත් ස්නායු අක්‍රීයවීම නිසා විවිධ රෝග සෑදෙන බවත් අපි සොයාගෙන තිබෙනවා.
ආහාර හා ජලයේ සුරක්ෂිතතාව සඳහා තත්ත්ව සහතික ලබාදීම කෙරෙන්නේත් මේ ආයතනයෙන්. බෝතල්කළ පානීය ජලය සඳහා ප්‍රමිති සහතික ලබාදීමත් අපි කරනවා. එවැනි සහතික නිකුත් කළ හැක්කේ මේ ආයතනයට පමණයි. පානීය ජලය සපයන ආයතනවල ජල සාම්පල් ලබාගෙන දිගින් දිගටම පරීක්ෂණ කටයුතු කරනවා.
වෙනත් ජල ප්‍රභවයන්වල විෂබීජ ඇත්දැයි සැක හැර දැන ගැනීමට අවශ්‍ය නම් මේ ආයතනයෙන් ඊට සහාය ලබාගත හැකියි. නිවෙස්වල ළිංවල ජලය පරීක්ෂා කිරීම මේ ආයතනයෙන් කෙරෙනවා. ඉතාම සහන මිලකට මේ පරීක්ෂණ කෙරෙනවා. ඕනෑම අයෙක් අපෙන් ලිඛිත ඉල්ලීමක් කළොත් අපි ඒ සඳහා ක්‍රියාත්මක වෙනවා.
ආසාත්මිකතා පිළිබඳ සායන පවත්වනවා. මේ සායන වලදී විවිධ පර්යේෂණ කෙරෙනවා. මේ සායන සඳහා විශේෂිත රෝගීන් සහභාගීවෙනවා. ඔවුන්ව මේ ආයතනයට යොමුකරන්නේ රජයේ වෛද්‍යවරුන් විසින් පමණයි. කෙතරම් ප්‍රතිකාර කළත් සුව නොවන රෝගීන් විශේෂ පරීක්ෂණ සඳහා මේ ආයතනයට යොමුවෙනවා.
වකුගඩු රෝග සම්බන්ධ පරීක්ෂණ රැසක් මේ ආයතනයේ සිදුවෙනවා. එම රෝගීන්ට අවශ්‍ය ඖෂධවල තත්ත්ව හා මාත්‍රාව ගැන පරීක්ෂණ ඖෂධවේදී අංශයෙන් කෙරෙනවා. දවසකට විවිධ පර්යේෂණ දහසක් පමණ මේ ආයතනයෙන් කෙරෙනවා. වෙනත් රෝහල්වල රසායනාගාරයන් හී නොකරන විවිධ පර්යේෂණ සඳහා අවශ්‍ය පහසුකම් නවීන තාක්ෂණය, උපකරණ ඇත්තේ වෛද්‍ය පර්යේෂණායතනයට පමණයි.
මේ ආයතනය ජනතාව සමඟ ඍජුව සම්බන්ධ වන්නේ ඉතා අඩුවෙන්. ඒත් ජනතාවගේ සෞඛ්‍ය සම්බන්ධ සියලු පර්යේෂණ කටයුතු කෙරෙන්නේ මේ ආයතනයෙන්.
පරපෝෂිත රෝග ආසාත්මිකතා හා ජලභීතිකා වැනි රෝග වලදී උපදෙස් ලබාගැනීමට ඕනෑම අයෙක්ට මේ ආයතනයට පැමිණිය හැකියි.
පෝෂණ අංශය මගින් විශාල කාර්යභාරයක් කෙරෙනවා. මේ වනවිට උතුරු නැෙ¼ඟනහිර සරණාගතයින්ගේ පෝෂණය පිළිබඳව නිරන්තර පරීක්ෂණ කෙරෙනවා.
ප්‍රෝටීන් මදකම නීරක්තිය, තයිරොයිඩ් හෝමෝන මදකම වැනි ගැටලුවලින් සරණාගතයින් පෙළෙන බව සොයාගෙන තිබෙනවා.
ගර්භිනී මවුවරුන්ගේ හා ළදරුවන්ගේ පෝෂණ ඌණතා සොයාගෙන ඊට ගැලපෙන ලෙස ත්‍රිපෝෂ නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේත් මේ ආයතනයටයි. මදුරුවන්ගේ ජීවන ක්‍රමය කාලයත් සමඟ වෙනස්වෙනවා. මේ සඳහා අවශ්‍ය පර්යේෂණ කීට පර්යේෂණ අංශයෙන් කෙරෙනවා.
විශේෂ උත්සව පවත්වන ප්‍රදේශවලට අපේ ආයතනයේ නිලධාරීන් ගොස් උත්සවයට මාස දෙකකට පමණ පෙර එම ප්‍රදේශයේ මදුරු කීටයන් පිළිබඳ පර්යේෂණ කරනවා. දැයට කිරුළ ආශි‍්‍රත ප්‍රදේශයේ කීට පරීක්ෂණ සිදුකළේ පසුගිය වසරේ ඔක්තෝම්බර් මසයේයි.
ඖෂධ අංශය මගින් මෙරට ඖෂධ පිළිබඳව පර්යේෂණ කෙරෙනවා. පටක වේද අංශයෙන් පිළිකා ඇතුළු රෝග සඳහා පර්යේෂණ කෙරෙනවා.
වර්ණ දේහ පිළිබඳ විශේෂ පරීක්ෂණත් මේ ආයතනයෙන් කෙරෙනවා.
වෛද්‍ය තාක්ෂණ ශිල්පීන්ගේ පාසල මේ ආයතනයේ ප්‍රධාන අංශයක්. රටටම අවශ්‍ය වෛද්‍ය පර්යේෂණ තාක්ෂණ ශිල්පීන් (M L T) නිර්මාණය කරන්නේ මේ ආයතනයෙන්.
ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ පශ්චාත් වෛද්‍යවරුන් පුහුණු කිරීමේ ප්‍රධාන කාර්ය සිදුවන්නේ මේ ආයතනයෙන්. මෙරට වෛද්‍ය විද්‍යාලවල වෛද්‍ය ශිෂ්‍යයින්ට කෙටිකාලීන පුහුණුවීම් ලබාදීමත් කෙරෙනවා.
මේ ආයතනය සතුව සම්පත් ගොඩක් තිබෙනවා. ඒවායින් ප්‍රයෝජන ගන්නට වෛද්‍ය පර්යේෂණවලට ඇලුම් කරන හැමදෙනාටම අපි ආරාධනය කරනවා. පාසල් මට්ටමේ සිට ජාත්‍යන්තර මට්ටම දක්වා වූ පර්යේෂකයින්ට මේ ආයතනය විවෘතයි. ආයුර්වේද පර්යේෂණ සඳහාත් මේ ආයතනය විවෘතයි.
වෛද්‍ය පර්යේෂණ සඳහා යොදාගන්නා සතුන්ගේ සත්ත්ව අංශය තිබෙන්නේත් මේ ආයතනයේයි. සත්වයින් යොදාගෙන කරන පර්යේෂණ සඳහා අවශ්‍ය සතුන්ගේ සත්ත්ව කොටස් හා රුධිරය ලබාදීම කෙරෙන්නේත් මේ ආයතනයෙන්.
මීයන්, හාවන්, බැටළුවන්, පාත්තයින් වැනි සතුන් පර්යේෂණ සඳහා විශ්වවිද්‍යාලවලට පවා අපි ලබාදෙනවා. මේ සතුන් පැය 24 පුරාම ඉන්නේ වායුසමීකරණ යටතේයි. ඒ නිසා සතුන් රැකබලා ගැනීමට විශාල වියදමක් දැරීමට සිදුවෙනවා.

Address : P.O. Box 527, Basline Road,
Colombo 08
Tel : +94 11 2693532
Fax : +94 11 2691495
E-mail : medresit@slt.lk

Estd: 1900,

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.